Tuesday, March 3, 2015

බලන්න මේ වගේ විල් දැකල තියනවද කියල.

අප ජීවත් වන ශ්‍රී ලංකාවේ ඇල දොළ, ගංගා, පොකුණු ආදිය තිබුනත් ප්‍රමාණයෙන් විශාල විල් නම් දැක ගන්නට ලැබෙන්නෙම නැති තරම්. නමුත් ලෝකයේ විවිධ රට වලින් අපිට මෙම විල් දැක ගන්නට ලැබෙනවා. ලොව පුරා පැතිර තිබෙන විශාල විල් අතර සුවිශේෂී විල් කිහිපයක් ගැන අපි මෙතනදී කතා කරමු.
ඈත අහසට රෝස පාටින් දිස්වන මේ ලස්සන විල පිහිටලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ. මේක ලුණු සහිත විලක්. මේක රෝස පාට වෙලා තියෙන්නේ කවුරුත් තීන්ත ගාල එහෙම නං නෙමෙයි.
 ඇල්ගේ වලින් සහ මෙහි ජීවත් වන කරදිය ඉස්සන් නිසා මෙම වර්ණය ඇති වෙලා තියනවා. හැබැයි සමහර වෙලාවට මේ රෝස පාට වෙනස් වෙන වෙලාවලුත් තියනවා. උෂ්ණත්වය, ලවණ මට්ටම වගේම ආලෝක ප්‍රමාණයත් මෙයට බලපානවා. මේකේ නම තමයි Pink Lake (Lake Hillier)
ඊළඟට අපි කතා කරන්නේ ජෙලි ෆිෂ් විල ගැන. මේක පිහිටලා තියෙන්නේ Palau වල. මේක කුඩා මුහුදු ජලයෙන් පිරුණු පොකුණක්. සාමාන්‍යයෙන් ගැඹුර මීටර 30ක්.
 මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මෙම විල රත්‍රන් ලොඩියා (golden jellyfish) නම් ලොඩි විශේෂයට අයත් ලොඩියන් මිලියන ගණනකට නිවහන වන නිසයි. මෙය වසර 12000ක් පමණ පැරණි බවට සැලකෙයි.
අපි ඊළඟට කතා කරන්නේ Frying Pan විල ගැන. තියෙන්නේ නවසීලන්තයේ. මේකට බැදුම් තැටියක් කියල නම දාල තියෙන්නේ ඇයි කියල ඕගොල්ලොන්ට හිතාගන්න පුළුවන් ඇතිනේ.
 මේක තමයි ලෝකයේ තියන විශාලම උණු දිය විල. පළල මීටර 200ක් පමණ වන අතර ගැඹුර මීටර 20ක් පමණ වෙනවා. මෙහි උෂ්ණත්වය 50-60°C (122 – 140ºF) ක්. පොලව අභ්‍යන්තරයේ නිකුත් වන භු තාප ශක්තිය නිසා මෙහි ජලය රත්වේ.
දැන් අපි එන්නේ මළ මුහුද පැත්තට. ඊශ්‍රායලය සහ ජෝර්දානය යන රටවල් දෙකටම අයත් මළ මුහුද මුහුදු මට්ටමින් අඩි 1360ක් පහලින් තමයි පිහිටලා තියෙන්නේ.
 මෙය පෘතුවිය මත ඇති පහතම පිහිටීමයි. මුහුදේ ලවණ මට්ටමට සාපේක්ෂව 10 ගුණයක ලවණ මට්ටමක් තිබෙන නිසා මේකේ පාවෙන එකනම් එච්චර අමාරු වැඩක් නෙමෙයි.
 පාවුනා වගේ නම් නෙමෙයි ඇස් වල‍ට වතුර ටිකක් එහෙම ගියොත්. මේකට මල මුහුද කියන්නේ අධික ලවණ සාන්ද්‍රණය නිසා කිසිම ජීවියෙකුට මෙහි ජීවත් වෙන්න බැරි හින්ද.
අපි ඊළඟට යන්නේ ඇන්ටාර්ක්ටිකාවට. දොන් ජු(අ)න් විල (Don Juan Pond) තමයි ලෝකයේ ලවණ සාන්ද්‍රණය ඉහලම ජලය හමුවන ස්ථානය. මුහුදට සාපේක්ෂව 18ගුණයක්. 1961 වසරේදී සොයා ගැනුණු මෙම විලේ උපරිම දිග වෙන්නේ මීටර 100ක්.
 එතරම් ගැඹුරු නැති මේ විල සෙන්ටිමීටර 10 සිට 30 දක්වා ගැඹුරු වනවා. ඇන්ටාර්ක්ටිකාවේ වුනත් මෙහි ඇති අධික ලවණ සාන්ද්‍රණය නිසා මේකේ වතුර කවදාවත්ම මිදෙන්නේ නෑ ලු. පුදුමයි නේද ?

0 comments:

Post a Comment