Sunday, March 8, 2015

තාක්ෂනයප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කල ලොව ප්‍රථම ජල තරංග ශක්තියෙන් ක්‍රියාකරන බලාගාරය

ප්‍රධාන විදුලි සැපයුමට සම්බන්ධ කල ලොව ප්‍රථම ජල තරංග ශක්තියෙන් ක්‍රියාකරන බලාගාරය

මේ පුවත අපට වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ලොව ප්‍රථම මුහුදු රළ ශක්තියෙන් ක්‍රියාත්මක වන බලාගාරයක් බටහිර ඕස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් ස්ථාපනය කර තිබේ. වසර 10කට අධික කාලයක් පුරාවට කෙරුණු පර්යේෂණ වල ප්‍රතිපලයක් ලෙස මෙම බලාගාරය ඉදි කර තිබෙන්නේ
Carnegie Wave Energy නම් ඕස්ට්‍රේලියානු සමාගමයි. මේ පිළිබඳව අදහස් දැක්වූ ඕස්ට්‍රේලියාවේ පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී Ivor Frischknecht මහතා පවසා සිටියේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විදුලි සැපයුම් ජාලයකට තරංග ශක්තියෙන් උත්පාදනය කෙරෙන විදුලිය සම්බන්ධ කෙරුණු ප්‍රථම අවස්තාව මෙය වන අතරම ලෝකයේ වෙනත් කිසිඳු රටක මෙවන් දෙයක් මින් පෙර සිදු නොවී ඇති බවයි. ඔවුන් මෙම ව්‍යාපෘතියට අවශ්‍ය වූ මුළු මුදල වන ඩොලර් මිලියන 32න් මිලියන 13ක මුදලක් ලබා දුනි.
සමාගමේ නව තාක්ෂණය මුහුදට අධිපති ග්‍රීක දෙවගනක් වන සෙටෝ නමින් නම් කර තිබේ. මෙම රල ශක්තියෙන් විදුලිය උත්පාදනය කෙරෙන අතරම ලවණ ජලය පිරිසිදු කරගැනීමටත් භාවිතා වනවා. සමාගම පවසන අන්දමට මෙහි සියලු උපාංග ජලය තුලම ක්‍රියාත්මක වන බැවින්, කුණාටු සහ විඛාදනය වීම් වලින් ආරක්ෂා වන අතරම මුහුදු වෙරළට දිස්වන්නේ ද නැත.
මෙම පද්ධතිය සතුව ජලයේ ගිලි ඇති මුහුදු පතුලට සම්බන්ධ බෝයා තිබේ. මේවා මීටර 25ත් 50ත් අතර ගැඹුරු මුහුදේ ස්ථාපනය කර තිබේ. මේවා සමඟ ගැටෙන රළ , පොම්ප ක්‍රියාත්මක කිරීම සිදු කරයි. එමගින් පීඩනයක් යටතේ මුහුදු ජලය මුහුදු පතුලේ ඇති නල මාර්ගයක් ඔස්සේ ගොඩබිම ඇති ජල විදුලි බලාගාරයක් වෙත යැවේ. ටර්බයින කරකැවීම මගින් විදුලිය උත්පාදනය කෙරෙයි.
මෙම අධි පීඩනයක් යටතේ ගමන් කරන ජලය පෙරීමකට ලක් වී ලවණ ගතිය ඉවත් වීමක් ද සිද්ධ වේ. මෙහි ඇති විශේෂත්වය නම් සාමාන්‍යයෙන් මෙය සිදු කිරීම සඳහා විද්‍යුත් ශක්තිය අවශ්‍ය වුවත් මෙහිදී එසේ සිදු නොවීමයි.
මෙම බලාගාරයේ ශක්තිය ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යංශයට අලෙවි කිරීමට නියමිත අතර එමගින් ඔස්ට්‍ර්ලියාවේ විශාලම නාවික බලකොටුවට ශක්තිය සැපයේ. තවද පිරිසිදු කෙරෙන මුහුදු ජලය ද අලෙවි කිරීමට යෝජනා වී තිබේ.
මේ වන විට යෝජිත බෝයා 3නෙන් , 2ක් සවිකර තිබේ. මෙය අත්හදා බැලීමේදී සාර්ථක ප්‍රතිපල පෙන්වා තිබේ. CETO 5 ඒකකයේ උපරිම කිලෝවොට් 240ක බලයක් පැය 2000ක කාලයකට සාර්ථකව ක්‍රියාකර තිබේ. දැනට ඉදිවෙමින් පවතින CETO 6 ඒකකය මෙයට වඩා 4 ගුණයකින් විශාල ශක්ති ප්‍රමාණයක් නිපදවන බවට අපේක්ෂා කෙරේ.
සුර්ය බලය සහ සුළං බලයට සාපේක්ෂව තරංග වලින් බලය ලබාගැනීම දිව රාත්‍රී දෙකේම යම් කිසි ස්ථාවර මට්ටමකින් කරගෙන යාමට හැකි වීම නිසා මෙය ඉතා හොඳ ශක්ති උත්පාදන මෙවලමක් ලෙස සැලකිය හැක. මෙහි ඇති අවැසි දායක තත්වය වන්නේ දැනට මේ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වීමයි. නමුත් මෙම ව්‍යාපෘතිය පුළුල් පරාසයකට ගෙනයාමෙන් මෙම තත්වය මගහරවා ගැනීමට හැකිවන බව ව්‍යපෘති භාර නිලධාරීන් අපේක්ෂා කරනවා.




0 comments:

Post a Comment