Saturday, February 21, 2015

අශ්වලාඩම් හැඩති මේ කකුළුවන්ගේ ලේ ජීවිත දහස් ගණනක් බේරගන්නවා.


අපි ජීවත් වන්නේ කෙටි කාලයක්. මේ ජිවිත කාලය තුල අපිට එක එක විදියේ ලෙඩ රෝග වැලඳෙනවා. මේ රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ විශාල වගකීමක් පැවරෙන්නේ අපගේ රුධිර පද්ධතියටයි. සුදු රුධිරානු වලින් මෙම ආක්‍රමණශීලි රෝගකාරක බැක්ටීරියා වලට එරෙහිව සටන් වදිනවා. අපි මේ කතා කරන්න යන අශ්ව ලාඩම් හැඩති කකුළු විශේෂයට ඉංග්‍රීසියෙන් කියන්නේ Horseshoe crab කියල. එයාගේ විද්‍යාත්මක නාමය Limulus polyphemus. මේ කකුළු විශේෂයේ ඇති වැදගත්කම කෑමට ගන්න එකට වඩා එහාට ගිය දෙයක්. මෙගොල්ලොන්ගේ රුධිරයේ ඇති බැක්ටීරියා නාශක හැකියාව ඉතා විශිෂ්ටයි. මිනිසුන් කකුළුවන් තරම් දීර්ග කාලයක් පරිසරයේ ජීවත් නොවුනාට සීග්‍ර බුද්ධි වර්ධනයත් එක්ක මේ සුවිශේෂී හැකියාවෙන් ප්‍රයෝජන ගන්න විදියක් සොයාගත්තා.
සාමාන්‍යයෙන් ලේ රතු පාටයි කියල කිව්වට මෙගොල්ලොන්ගේ ලේ දීප්තිමත් නිල් පැහැයක් ගන්නවා. ඒකට හේතුව තමයි මෙගොල්ලොන්ගේ ලේ වල ඔක්සිජන් ප්‍රවාහනය කරන්න උදව් වෙන්නේ තඹ (copper) අන්තර්ගත hemocyanin (හීමොසයනින්) නම් සංයෝගයක් වීම. අපේ , ඒ කියන්නේ පෘෂ්ඨවංශිකයන්ගේ ලේ රතු පාටින් පේන්නේ haemoglobin (හිමොග්ලොබින්) කියන යකඩ වලින් හැදුන සංයෝගයක් නිසා. සාමාන්‍යයෙන් ආසාදන වලට එරෙහිව සටන් කරන සුදු රුධිරානු වෙනුවට බොහෝ අපෘෂ්ඨවංශිකයන්ගේ රුධිරයේ හමුවන්නේ amebocytes නම් සෛල විශේෂයි. එම සෛල සැලකිල්ලට ගන්නා කල මෙම කකුළු විශේෂයෙන් හමුවන සෛල වලට ප්‍රමුඛස්ථානයක් හිමි වේ.
අශ්ව ලාඩම් හැඩති මෙම කකුළු විශේෂය සතු amebocytes සෛල වලට ට්‍රිලියනයකට එකක් වන තරමේ කුඩා වූ බැක්ටීරියා ප්‍රමාණයක් වුවද හඳුනාගෙන විනාශ කිරීමේ හැකියාවක් පවතියි. අනෙක් වැදගත් කාරණය වන්නේ මේ සඳහා ගත වන කාලය මිනිත්තු 45ක් තරම් කෙටි කාලයක් වීමයි. සාමාන්‍යයෙන් ක්ෂීරපායි සතෙකුට මේ සඳහා ගතවන කාලය දින දෙකක්. මෙම සෛල අදාළ බැක්ටීරියා සෛල වටා කැටි ගැසීමකට ලක්වන්නේ Coagulan (කෝගියුලන්) නම් රසායනික සංයෝගය නිසා. මෙම රසායනිකය බොහෝ විට භාවිත කෙරෙන්නේ වෛද්‍ය උපකරණ පරික්ෂාවට සහ එන්නත් පරික්ෂා කිරීමටයි. මේ හේතුවෙන් විවිධ ආසාදන නිසා මිය යන පුද්ගලයන් සංඛ්‍යාව අවම කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නමුත් මෙම රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය අවම මට්ටමක පවතින බැවින් වාර්ෂිකව කකුළුවන් මිලියන කාලකගේ පමණ රුධිරය ලබා ගැනීමට කටයුතු කෙරෙනවා.
මෙම ක්‍රියාවලියේදී කකුළුවන්ගේ ජීවිතයට වන හානිය අවම මට්ටමක පවත්වාගනිමින් සිදු කෙරෙන අතර කකුලුවකුගෙන් 30% ක රුධිර ප්‍රමාණයක් ලබා ගැනේ. ඉන් පසු මොවුන්ව නැවත මුහුදට මුදා හැරීම සිදු කෙරේ. මෙම රුධිර ප්‍රමාණය ලබා ගැනීමෙන් ඔවුන්ගේ ජීවිතයට අවදානමක් නොමැති බවට සැලකුණත් 10% – 30% අතර ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. මෙම කකුළුවකුගේ රුධිර බෝතලයක මිල ඇමෙරිකන් ඩොලර් 15,000 ක් විතර වෙනවා කියල තමයි ආරංචි වෙන්නේ !
මෙම රුධිරය ලබාගන්න ආකාරයත් එම රුධිර සාම්පල් වල amebocytes සෛල බැක්ටීරියා සමග ගැටෙන ආකාරයත් පහත වීඩියෝවෙන් නරඹන්න.

0 comments:

Post a Comment